මහා බලපරාක්‍රමයෙන් තුන්ලොව තමා නතු කළ ඈත අතීතයේ ශ්‍රී ලංකාධීශ්වරව සිටි දශදේශාධිපති රාවණයන්ගේ සොහොවුරු වූ විභීෂණයෝ ශ්‍රී ලංකාවේ ආදිම දෙවියෝ ය. රාම - රාවණ සටනේ දී සිය සොහොවුරු වූ රාවණයනට විරුද්ධ ව විභීෂණයෝ රාමයන්ගේ පක්‍ෂය ගත්හ. රාවණයෝ පරාජය වූහ. රාමයෝ ජයගත්හ. රාමයන්ගේ පක්‍ෂය ගත් විභීෂණයනට ලංකාවේ අධීශ්වරත්වය පැවැරිණි.

විභීෂණ දෙවියන් පිළිබඳ විශේෂ අයිතියක්‌ ශ්‍රී ලාංකිකයනට ඇත. විභීෂණ දෙවියන්ගේ තෙද බල මහිමය කීර්තිරාවය විශේෂයෙන් පැතිර පවත්නේ කැලණි ප්‍රදේශය ඇතුළු පළාත්වලය. තුරඟවාහනාරූඪව වැඩවසන විභීෂණ දෙවියෝ නීලවර්ණ දේහයකින් යුක්‌ත වෙති.

"සිංහාසනේට, මැණික්‌ පුටුවට, මුතුකුඩේට, කැලණි වෙහෙරවහන්සේට, එම නදීකතට යහතින්ම දිවැස්‌ කරුණාකර බලා වැඩ වදාරමින්......." ආදී වශයෙන් විභීෂණ දෙවියන් පිළිබඳව විභීෂණ දේව කන්නලව්වේ සඳහන් වෙයි.

විභීෂණ දෙවියන් පිළිබඳව බලවත් විශ්වාසයක්‌ ඈත අතීතයේ සිට මේ රටේ ජනතාව තුළ පැවැති සැටි පෙනෙයි. තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජෝත්මයාණන්ගේ සැළලිහිණි සංදේශයෙහි විභීෂණ දෙවියන් පිළිබඳ මනහර වැනුමක්‌ එයි.



තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු

තුන් කල් බලා රමිඳුට වූ ඉට මිතුරු

තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු

තුන් විටෙක මැ වඳු එසුරිදු පා තඹුරු

විභීෂණ දෙවියන් පිළිබඳව බලවත් විශ්වාසයකින් යුතුව පුදපූජා කළ තැනැත්තන්හට විශිෂ්ට ප්‍රතිඵල ලැබිණි. මේ නිසාම විය හැකියි තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජයාණන් වහන්සේ ද උලකුඩය දේවියට පුත් රුවනක්‌ ලබා දෙන ලෙස මේ දෙවිඳුන් යදිමින් සැළලිහිණි සංදේශය රචනා කළේ. දැනුදු කැලණියේ විභීෂණ දේවාලය කරා පැමිණ භාරහාර වන පුද ජූජා කරන බැතිමතුනට විභීෂණ දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබෙන බව කියති. විභීෂණ දෙවියන්ගේ කීර්තිය, තේජස ශ්‍රී ලංකාව පුරා පැතිර පවතී.



විභීෂණ දේව ශාන්තිය

රාම කුමාර වරො අවතාරං

ලක්‍ෂ්මණ ජානකි රාජික දාරං

කාලික පූජක තුෂ්ටි උදාරම්

ශාන්ති දදාතු විභීෂණ දෙවඃ



දෙව මනුෂ්‍ය නමස්‌කෘත පාදං

නීල ශරීරඃ දශ මුඛ බ්‍රාතෘ

මාල සමන්තය ග්‍රීවා යුක්‌තං

සෞඛ්‍ය දදාතු විභීෂණ දෙවඃ

රාක්‍ෂෂ ගොත්‍රජ කෙශ සුනීලො

රක්‍ෂ කුලම්බර පූර්ණශශීවත්

තීක්‍ෂණ ඥානවරො සත් කීර්ත්තිඃ

ආතුර ආරක්‍ෂා කූරුතෙයං



ආයත පිනක ගස්‌තද්විපාදො

දන්ත සමන්තය පුෂ්පිත වර්ණං

කණ්‌ඨප්‍රදේශ ශලිෂ්යින සංඛං

රක්‍ෂා තුරාතං විභීෂණ දෙවඃ



දක්‍ෂ විවක්‍ෂණ බුද්ධි උදාරං

රාක්‍ෂ නරස්‍ය වරො මහ ප්‍රාඥො

ලද්ධ නිබද්ධාරක්‍ෂක ලංකා

රක්‍ෂතුරානං විභීෂණ දෙවඃ



ශීතල අම්බු සූපූර්ණ ප්‍රසන්තා

නාගවිමාන සුරම්‍ය ප්‍රතිෂ්ඨා

කල්‍යාණි පුර දක්‍ෂිණ භාගා

වාසභවතෙ දෙවා රක්‍ෂන්තු



රොග දුර්භික්‌ෂ නිවාරණ ප්‍රාඥො

තෙජසමායුෂකීර්ති කදම්බඃ

දාන විසාරද බුද්ධි විශේෂඃ

රක්‍ෂතු ආතුර විභීෂණ දෙවඃ

උත්තම වන්දනමාන නිබද්ධා

චින්තන ධාරණ සත්‍ය ගුණාංගඃ

දුෂ්ට විපක්‍ෂ විපාක විභංගාත්

ශාන්ති දදාතු විභීෂණ දෙවඃ



නාග මනුෂ්‍ය සුරාසුර රාක්‍ෂා

නාසන දර්ප විචක්‍ෂණ බුද්ධිඃ

වන්දනමාන බහුනර දෙවඃ

ශාන්ති ශ්‍රී සම්පත්ති දදාතු



ශ්‍රී ඝන ධර්ම තථාගත පුත්‍රං

පුෂ්ප සුගන්ධක මාල ප්‍රදීපං

පූජක පුණ්‍යං අනුමොදිත්වා

ශාන්ති දදාතු විභීෂණ දෙවඃ





ශ්‍රී විභීෂණ දේව ශාන්තිය

රාම කුමාර උතුම් අවතාරේ

ලක්‍ෂ්මණ ජානකි හා රැකි පුත් වූ

පත් නිසිකල් කළ සිත් තුටු පූජා

සෙත් සලසනු මැන විභීෂණ සුරිඳේ



දෙව් මිනිසුන් නමදින පා යුග ඇති

නිල් සිරුරින් හෙබි දස සොවුරන් ඇති

ගෙලවට මල් මාලාවන් යුතු වූ

සුවය සදා දෙනු විභීෂණ සුරිඳේ



රකුසු ගොතේ වූ සුනිල් කෙසින් යුතු

රකුසු අහස්‌ කුස සුපුන් සඳක්‌ බඳු

තියුණු නැණින් යුත් යසසැති දෙවිඳුනි

ආතුරයා මේ රකිනු ලැබේවා



දක්‌ වූ සපිරුණු අත් - පා යුවළැති

දත් දෙපළින් දිළි - පැහැ සම්පත් යුතු

වට මට ගෙලසක්‌ ගෙඩියක්‌ බඳුවූ

ආතුර රැකදේ විභීෂණ දෙවිඳේ



දක්‍ෂ විචක්‍ෂණ උදාර ණැන යුත්

රකුසන් හට හා මිනිසුන් හට තුම්

නිබඳව රකිනුව සිරිලක වරලද

දෙවිඳුනි විභිෂණ ආතුර රැකදේ



පැහැපත් සීතල සපිරුණු දිය ඇති

අතිරමණී වූ නාග විමානේ

කැලණිය දකුණේ වාස භවන වූ

දෙවිඳුනි විභීෂණ ආතුර රැකදේෘ



රෝදුක්‌ බිය දුරලන මහ නුවණැති

තේජස ආයුෂ කීර්ති රැස යුතු

දාන විසාරද වෙසෙස්‌ බුද්ධිමත්

දෙවිඳුනි විභීෂණ ආතුර රැකදේ



වැඳුමෙහි පිදුමෙහි නිබදු නිරත වූ

දනහට චින්තන ධාරණ ගුණ දෙන

දුදනන් හට රුදු විපා බෙදා දෙන

ශාන්ති දෙනුමැන විභීෂණ සුරිඳේ



නාග මිනිස්‌ දෙව් අසුqර ද රකුසන්

එඩිය මැඬිමෙහි සියුම් නුවණ ඇති

වැඳුමෙහි පිදුමෙහි යෙදෙන දනන් හට

සිරිසැප ගෙන දෙනු විභීෂණ සුරිඳේ



බුදු, දම් සඟ ගණ තෙරුවන් ඉදිරියෙ

මල් දම් සුවඳ ද පහන් පිදීමෙන්

ලත් මේ පින් රැස්‌ අනුමෝදන් වී

සෙත ගෙන දේවා විභීෂණ සුරිඳේ


ශ්‍රී විභීෂණ දිව්‍ය රාජෝත්තමයාණට

තෙදවරම්, පස්‌වාන් දහසකට දිව්‍ය ඥාන වරම් ලැබ ශ්‍රී විභූතියට පත්ව වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විභීෂණ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, ශ්‍රී ලංකා ද්වීපයෙහි කීර්තිධාරා පතුරුවා යුක්‌තියෙන් ජය ලබා අයුක්‌තියට බැට දෙමින්, දුදන බල බිඳලමින් සුදනන්ට සෙත දෙවා, මෙසිරිලක අගරජව දසරාජ ධර්මයෙන්, රට දැයට ආදරයෙන් දනන් සිත් සනසමින් දෘඪ වියර්ය ඇති අසුර වංශෝද්භූත, කැලණි වෙහෙර වහන්සේට, කැලණි ගංගාවට මැණික්‌ පුටුවට අධිගෘහිත වූ නීලවර්ණ ශ්‍රී දේහයකින් බබළන තුරග වාහනාරූඪව යහතින්ම දිවැස්‌ කරුණාකර වැඩ වාසය කරන, උත්තම වූ විභීෂණ දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස, මා ඇතුළු මගේ ලෙයින් පැවත එන අංශවලට හෝ එයට, සම්බන්ධ අංශවලට හෝ වැදී වැළඳී එන්නාවූ, දේවදෝෂ විනදෝෂ, ඇස්‌වහ, කටවහ දෝෂ හුනියම් දෝෂ, වා, පිත් සෙම් යන තුන්දෙසින් නැග එන්නාවූ දෝෂ, ග්‍රහ උපද්‍රව මත මතුවන්නාවූ බාධක මාරක ඒරාෂ්ඨකාදී දෝෂාන්ධකාරයන් වෙතොත් ඒ සියල්ල දුරුකොට සැපත සුවය ශාන්තිය අත්කර දී පිනට පිහිට වී පින් ගන්නා සේක්‌වා. ආයුබොහෝ වේවාෘ ආයුබොහෝ වේවාෘෘ ආයුබොහෝ වේවාෘෘෘ

විජයසිරි විද්‍යාරත්න
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online