ඔබේ ගෙවත්තේ විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබෙන ඇතැම් පැළෑටි ඔෟෂධීය ගුණය අතින් ඉතාම ඉහළ ස්ථානයක් හිමිකර ගනී. කප්පරවල්ලිය යනු එවැනිම ඔෟෂධීය පැළෑටියකි. කප්පරවල්ලිය ශාකය හඳුනා ගැනීමට එහි සුගන්ධවත් භාවය ඉවහල් වෙයි. බූවක් සහිත පත්‍ර, කැඩීමේදී කපුරු සුවඳට සමාන සුවඳක් හටගනී. මේවා කඳු බෑවුම්වල, ගල්තලාවල මෙන්ම සාමාන්‍යයෙන් ගෙවතුවලද ඉක්මනින් ව්‍යාප්ත වෙයි.

කප්පරවල්ලිය ශාකය ගල් තලාවල වැඩෙන නිසා මුත්‍රාශයේ හටගන්නා ගල් බිඳ දැමීමට ගන්නා ප්‍රතිකාරයක් වශයෙන් සැලකේ. එපමණක් නොව සෙම ගතියෙන් පෙළෙන අයටත්, වියළි කැස්ස දීර්ඝකාලීනව තිබෙන අයටත් මෙය දිව්‍යමය ඔෟෂධයකි. කප්පරවල්ලිය කසාය, චූර්ණ, පැණි වැනි විවිධාකාරයෙන් සකස් කරගත හැකිය.


සෙම බුරුල් කිරීමට

කප්පරවල්ලිය කොළ, කොත්තමල්ලි, දෙහි, තිප්පිලි සමව ගෙන හොඳින් තම්බා දුම් අල්ලන්න.
කප්පරවල්ලිය කොළ, කලාඳුරු කළඳක්, සූදුරු, කොත්තමල්ලි මේ සියල්ල කොටා වණ්ඩුවේ තම්බන්න. පසුව පිරිසුදු රෙදි කඩකින් එහි ඉස්ම ගෙන නිවුණාට පසු එය මී පැණි සමඟ මිශ්‍ර කර නැවත රත් කරන්න. පසුව පානය කරන්න.


මුත්‍රාශයේ ගල් ඉවත්වීමට

කප්පරවල්ලිය මුල්, නැටි, හොඳින් සෝදා කහ, සූදුරු, බාර්ලි ඇට, වැල්මී කැබැල්ලක් එයට දමා දියරට තම්බා උදේ හවස සතියට දෙවරක් පානය කරන්න. මුත්‍රාශයේ ගල් දියවී යයි.


වමනයට

කප්පරවල්ලිය කොළ කිහිපයක් ගෙන කොටා ඉස්ම ස්වල්පයක් මී පැණි සමඟ පානය කරන්න.
හිසේ කැක්කුමට තෙලක්
කප්පරවල්ලිය කලං 10
කලාඳුරු කලං 3
අමු කහ කලං 4
රතුලූනු 100 ග්‍රෑම්
මේවාට තලතෙල් භාගයක් දමා හොඳින් උතුරුවා ගන්න. රෙදි කැබැල්ලකට දමා පොට්ටනියකින් යුෂ පෙරාගන්න. මෙයට සූදුරු හා කොත්තමල්ලි කලං තුන බැගින් සහ ඝනකම් පොල්කිරි අඬු කෝප්පයක් එයට එක්කරන්න. පසුව නැවත පොට්ටනියකට ගැටගසා නැවත විනාඩි 45ක් මඳ ගින්නේ රත් කරන්න. පසුව අභිසම්භිධානයෙන් හා සෙත් පිරිත් 108 වරක් පිරිත් කර හිසේ තවරන්න. පසුව මසාජ් කරන්න. සතියකට දින 2ක් යනතෙක් දිය නෑමෙන් වළකින්න.

ජේ‍යාතිෂ ගුප්ත විද්‍යා ශිරෝමනී
වෛද්‍ය කේ.ඒ.එම්. අයිරාංගනී
මව්බිම පුවත්පත
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online