රාජ තරංගනී තෙල ඉතා ප්‍රබල දෙයකි. ප්‍රබල රාජතෙල් 7ක් ඇත. එතුළින්ද අංක එකට වැටෙන්නේ රාජ තරංගනී තෙලයි. මෙය රන් සුරයක දැමිය යුතුමය. ග්‍රහ අපල නිසා ඇතිවන බාධකවලටත් සමාජය තුළ සුවය, සතුට, සම්පත ලබමින් ජීවත් වීමටත් රාජ තරංගනී තෙල් මහෝපකාරී වනු ඇත.

ප්‍රශ්නය එය නොව රාජ තරංගනී තෙල් ඉතා දුර්ලභ වස්තුවක් නිසා ලේසියෙන් කෙනකුට ලබා ගැනීම අපහසුය. රාජ, රාජ මහා අමාත්‍යවරු එදා පලඳින ලද රාජ තරංගනී තෙල ඉතාම බලගතුය. අදත් රටේ සිටින ප්‍රභූවරු ළඟ මේ තෙල් සුරය ඇත. මේ තෙල් තියෙන කෙනාගෙන් ටිකක් ලබා ගැනීමට වුවද විශේෂ කේන්ද්‍ර පරීක්‍ෂණයක් කළ යුතුය. ජන්ම, සම්පත්, විපත් ආදී වශයෙන් ගැන බලා තෙල් තියෙන කෙනාගේ නැකැතට ගැළපෙන අයට පමණක් ලබාගත හැකිය. පිනට දහමට බර සුචරිත ජීවිතයක් ගත කිරීම විශේෂ සුදුසුකමක්ද වේ.

රාජ තරංගනී තෛලය සහිත රන් සුරයක් ගෙල, අත, උර පැලඳීම තුළින් සමාජය තුළ ඉතා උසස් දියුණුවක් ලැබීමටත්, සමාජයේ කැපී පෙනෙන ලෙස ජීවත් වීමටත් මඟපෑදෙනු ඇත. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු කියන නවග්‍රහයන්ගෙන් ඇතිවන අපලවලටත් ඒරාෂ්ටක, මාරක දුරු වීමටත් මේ තෙලේ බලය ඉතාම බලවත් වේ. මෙය අපලවලට දිව්‍ය ඔසුවකි. මා විසින් කියන නොකියන කරුණු 108ට රාජ තරංගනී තෛලය බලවත්ය. ඉතින් දැන් හැමෝම මගෙන් මේ තෙල් ටිකක් ඉල්ලා ගන්න උත්සාහ කරයි නේද? නමුත් මේ තෙල් තියෙන කෙනා ආවට ගියාට තෙල් දෙන්නේ නැත. නැකැත, තිථිය, යෝගය, දිනය, කරණය යන පංචාංග ශුද්ධියද බලා පෙරමඟ ලකුණුද බලනු ඇත. මන්ත්‍ර විද්‍යාව, ජේ‍යාතීර් විද්‍යාව හරිහැටි නොදත් කෙනකුට මේ තෙල සිඳීමට ඉතා අපහසුය. මේ තෙලට රත්රන් භෂ්ම, රිදී භෂ්ම, කස්තුරි, ගොරෝචන වැනි බලවත්ම දේ ඇතුළත් කර ඇති නිසා තෙල්වල පැවැත්ම ඉතා අධිකය. කිලි හරණ මන්ත්‍ර සහ මා වී ඇතුළත් කර ඇති හෙයින් කිලි වැදීමක්ද නැත.

දැන් හැමෝම මගෙන් මේ මන්ත්‍රය මොකක්ද කියල අහයි නේද? මන්ත්‍රය ඉතාම බලගතු නිසා පුවත්පත්වල සඳහන් කරන්නේ නැත. ඊට හේතුව මේ පුවත්පත් සමහර විට මස්, මාළු ඔතන්න ගන්න අවස්ථා තිබීමට පුළුවන. එම නිසා මෙ බලම බලගතු මන්ත්‍රය ලිපියට ඇතුළත් කරන්නේ නැත. තවද හැම මන්ත්‍රයකින්ම හැමෝටම වැඩ ගැනීමට අපහසුය. තමාට සිද්ධි මන්ත්‍ර පමණ තෝරා බේරා කටයුතු කළ යුතුය.

ඕං ශ්‍රී විෂ්ණු කියල පටන් ගන්නා රාජ තරංගනී මන්ත්‍රය තුළ රජ ව්‍යංකරී, චෝර ව්‍යංකරී, මනුෂ්‍ය ව්‍යංකරී, අමනුෂ්‍ය ව්‍යංකරී වශයෙන්ද ලියැවී ඇත. ව්‍යංකරී යනුවෙන් කියැවෙන්නේ ව්‍යග වීමයි. මුඛ දිෂ්ටි කියල කියන්නෙ කතා කළත් වශී වෙනවා කියන එකනෙ. මේ මන්ත්‍රය මුලින් මැදින් ටිකක් ලීවේ පුවත්පත්වල පළකිරීමට තියෙන අකැමැත්ත උඩය. සඳු බලවත් අයට හිත හදාගන්න පුළුවන්. හිත හදා ගත්තම දියුණු වෙන්න මඟ පෑදෙනවා. අපේ බුදුහාමුදුරුවොත් දියුණු කළේ හිතයි. හිත හදා ගැනීම තුළින් බුද්ධත්වය වැනි උත්තරීතර තැන්වලටත් යන්න වාසනාව පෑදෙනු ඇත. රාජ තරංගනී තෙල්ද වාසනාවන්තයන්ට පමණක් කොහෙන්හරි ලැබෙනු ඇත. සුවය, සතුට, සම්පත් උදෙසා රාජ තරංගනී තෙල් රන් සුරයක පලඳින්න.


ජේ‍යාතීර් විද්‍යා විශාරද
මාතර පුහුල්වැල්ලේ
සුසිල් ප්‍රේමචන්ද්‍ර
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online