ඕනෑම දේශගුණික කලාපයක විශේෂයෙන් සීත පළාත්වල වැවෙන ඔෟෂධීය පැළෑටියක් හා රසවත් පලා වර්ගයක් ලෙස ගොටුකොළ ශාකය හඳුන්වා දිය හැකියි. ඔබ එදිනෙදා ආහාර වේලට එකතු කර ගන්නා ගොටුකොළ ශාකයේ ඔෟෂධීය ගුණ අප්‍රමාණය. සාමාන්‍යයෙන් ගොටුකොළ හඳුන්වන්නේ ඉහළ යකඩ ප්‍රතිශතයක් තිබෙන පලා වර්ගයක් ලෙසය. ඒ නිසාම පුද්ගලයාගේ කායික, මානසික මෙන්ම බුද්ධිමය වර්ධනයට ගොටුකොළවලින් ලැබෙන්නේ මහඟු පිටුබලයකි.

ගොටුකොළ වර්ග කිහිපයක්ම හඳුනාගත හැකියි.
විශාල ගොටු කොළ හෙවත් මහ ගොටුකොළ
හීන් ගොටුකොළ
වැල් ගොටුකොළ
පෝච්චි ගොටුකොළ

මින් වඩාත් ගුණදායක වන්නේ හීන් ගොටුකොළය. මේ වර්ගයේ ගොටුකොළවල පත්‍ර හා නැටි හීනිය. එමෙන්ම වැල් සහිතය. ගොටුකොළ ශාකය අපේ ශරීරයේ හටගන්නා නොයෙකුත් රෝගාබාධ සඳහා විසඳුම් ලබාදෙයි.

රක්ත පිත්තයට

ගොටුකොළ පත්‍ර හොඳින් කොටා යුෂ පානය කරන්න. මේ සඳහා ගොටුකොළ චූර්ණය ද සුදුසුයි.

ශුකාණු සම්බන්ධ ලෙඩ රෝග සඳහා

ගොටුකොළ චූර්ණයක් සේ සාදා එළඟි තෙල් සමඟ උදේට ආහාරයට ගන්න.

මල බද්ධයට

ගොටුකොළ පත්‍ර, නැටි, මුල්, සූදුරු සමඟ කබලේ බැඳ වතුර ස්වල්පයක් සමඟ පානය කරන්න.
කුඩා දරුවන්ගේ ඇස් ආබාධ, රක්ත හීනතාවට, රුධිරය පිරිසුදු කර ගැනීමට, ස්නායු ශක්තිමත් වීමට.

දරුවන්ට ඉඳුල් කට ගෑමෙන් පසු ගොටුකොළ කැඳ හෝ යුෂ ස්වල්පයක් පානය කිරීමට දීම හා මව හැකි තරම් ගොටුකොළ සම්බෝලය, කැඳ, තැම්බුම් හොඳි, යුෂ ආදිය ආහාරයට ගැනීම.

මනසින් හට ගන්නා රෝග නිවාරණයට හා මනස සැහැල්ලු වීම

ගොටුකොළ, මුගුණවැන්න කොහොඹ කොළ සමව ගෙන තැඹිලි වතුරෙන් අනා හිස කුඩ්ඩියක් සේ හිසට දමන්න. පැයකට පමණ පසු ස්නානය කරන්න.

 පීනසට

ගොටුකොළ යුෂ, කිතුල් හකුරු හෝ කිතුල් පැණි ස්වල්පයක් සමඟ පානය කරන්න.
ගොටුකොළ, ඉඟුරු, සුදු ලූනු කොටා පොට්ටනියක් සේ සකස් කර නළල, බෙල්ල අවට තබන්න. හොටු දියර ගැලීම නතර වේ.

නිතර වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාවට.

ගොටුකොළ මුල්, කරදමුංගු සමව ගෙන තම්බා පෙරා මී පැණි සමඟ පානය කරන්න.

දරුවන්ගේ බුද්ධි වර්ධයට හා මතක ශක්තිය වර්ධනයට

ගොටුකොළ යුෂ පානය කිරීම එසේත් නැත්නම් දිනපතා ආහාරයට ගොටුකොළ සම්බෝලය එකතු කර ගන්න. ගොටුකොළ කැඳ පානය කිරීම ද ඉතාමත් සුදුසුය.

යටි බඩ හිරවීමට, මුත්‍රා අඩස්සියට

ගොටුකොළ යුෂ, සුදු ලූණු, අමු ඉඟුරු වණ්ඩුවේ තම්බා තවන්න.

මුහුණේ කුරුලෑ ඉවත් වී පැහැපත් වීමට

ගොටුකොළ, අමු කහ, මුං ඇට, සමව ගෙන හොඳින් අඹරා රෝස වතුර ස්වල්පයක් මී පැණි හා එඬරු තෙල් ස්වල්පයක් දමා අනා මුහුණේ ආලේප කරන්න.

හිස කෙස් සුදු වීම, හැලීම නතර කොට හිසකෙස් වර්ධනයට

ගොටුකොළ, ‍ෙදාඹ දලු, බුලත්, රතු ලූනු සමව ගෙන කොටා තල තෙල්, කළුදුරු, සැවැන්දරා මිශ්‍ර කොට මඳ පවනේ උතුරුවා ගන්න නිවුණාට පසු හිසේ ආලේප කරන්න.

ලයනි රසිකා නිරෝෂිණි
ජේ‍යාතිෂය ගුප්ත විද්‍යා ශිරෝමණී
වෛද්‍ය කේ. ඒ. එම්. අයිරාංගනී
මව්බිම පුවත්පත
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online