සිංහල සංස්‌කෘතියෙහි හෙළ සිරිත හා බැඳි බුලත සිංහලයන් අතර තරම් වෙනත් කිසිදු ජාතියක් අතර සම්භාවනීයත්වයෙන් සලකනු නොලැබේ. බුලතේ උපත කෙදිනකදී ඇති වූවක්‌දැයි කිව නොහැකි තරම් ඈතට විහිදී යයි. උපතේ සිට මරණය දක්‌වාත් මරණයෙන් පසුවත් කරනු ලබන චාරිත්‍ර වාරිත්‍රවලදී බුලත් අවශ්‍ය බව කවුරුත් දනිති. එනිසා බුලත මංගල සම්මත වස්‌තුවක් වන අතර අගයද කියා නිම කළ නොහැක.
සිංහල අලුත් අවුරුදු සමයේ පුරා වසරක් මකුළුදැලින් වැසුණු බිත්තියේ එල්ලා ඇති රබාන පිසදා කරු තුනක් මත රඳවා යටින් ගිනි කබලක් තබා රත්කර කාන්තා සුසිනිඳු, මොළකැටි දෑත්වලින් තඩිබාන්නේ වෙත්තිල බුලත් නැට්‌ට කඩාලා ඊ පිට හුණුගා තෙයි" යන රබන් සුරල් පද හඬදෙන්නේ බුලත සිහිකර වෙන්ටැයි සිතමු.
බුලත මහා බ්‍රහ්මයා විසින් විශ්වයට හෙළන ලද බීජයකි. එය නා ලොවට වැටී ගෙඩි නොහැදෙන ලතාවක් යයි කියවේ. තවත් කථාවක අප මහ බෝසතාණෝ සාව කුලේ ඉපිදී සිටින විට මාංශ දානය පිණිස ගින්නට පැන්න හාවා සක් දෙවිඳු දෝතට ගෙන සසරුව සඳමත ඇඳ වීසිකළ තෙලිකූර නාග ලොවට වැටුණි. මහින්දා නම් නාග කන්‍යාව එය ගොදුරක් යයි හිතා ගිල්ලාය. තෙලිස උගුරේ හිරවී සත් දිනෙන් ඇය කළුරිය කළාය. ඒ නයිකඳ වළදැමූ තැනින් කොළ දළු සහිත ලියලා ආ වැල බුලත බවයි.
මෙම කථාවම තවත් තැනෙක මෙසේය. ශක්‍ර දෙවියන් මහලු වේශයක් මවාගෙන කැලෑවක් මැදින් යන විට ගලක් මත උන් හාවෙක් දැක අනේ හාවෝ මට බඩගිනියි කන්ට දෙයක් දෙන්නැයි කියා ඉල්ලූවිට. අනේ මා ළඟ නම් දෙන්නට දෙයක් නැතැයි කියා ඔතන ගිනි මැලයක් ගහන්නැයි අණ කළා. ශක්‍රයාද ගිනිමැලයක් ගැසූ විට හාවා ගල උඩ සිට එයට පනින විටම ශක්‍රයා හාවා දෝතින් ගෙන දිව්‍ය ලෝකයට ගෙන ගොස් හාවාගේ කරුණා ගුණය පෙන්වීමේ සිහිවටනයක් බවට පත්කිරීමට පිහාටු පින්සලයක් ගෙන හාවාගේ රූපය හඳේ ඇදලා ඒ පිහාටු පින්සලය පොළවට දැම්මා. ඒ පින්සලය මහපොළව දෙබෑකරගෙන ගොස් පොළව යට සිටි නාග රජුගේ ඇඟේ වැඳී නා රජු එතනම මැරුණා. නාග ලොව වැසියන් කඳුළු සලමින් එය භූමිදාන කළා. පසුව ඒ සොහොනෙන් වැලක් ඇඳී උඩට උඩට නැගී පොළෝ තලය වෙත ඇදෙන්න වුණා. එක් ගැමියෙක් මෙම වැලෙන් කොළයක් කඩාගෙන කෑවාට පසු මත් ගතියක් දැනුණා. මත් ගතිය නිසා ඇඟට තරමක ප්‍රාණයක් දැනුණා. මේ ආරංචිය දත් කවුරුත් මේ කොළ කන්න පටන් ගත්තා. නාග ලොවින් ආ නිසා නාග වල්ලි බුලත් කියා කොළයට නම බැඳුනා. දෙකට නමන බුලත් කොළය නාග පෙණයට සමාන බව මිනිසුන් සිතුවා. මේ නිසා බුලත් කොළයක් කෑමට පෙර දෙකට නවා නාග විෂ ඇතැයි සිතා නැට්‌ටත් තුඩත් කඩා ඉවත ලා කෑමට පුරුදු වුණා. අදත් බුලත් කන්නන් අතර මේ සිsරිත පවතිනවා.
එකල මනුලොව මහා සම්මත රජ බිසවට වසවර්තී මාරයා විනයක් කළේය. එයින් ඇය බලවත් ලෙස රෝගී විය. මෙම රෝගය සුව කිරීමට ශාන්ති කර්මයක් කිරීම සඳහා බුලත් අවශ්‍ය බව ඉසිවරුන් විසින් නියම කළේය. වෙණු දෙවිඳුගේ ඉල්ලීම අනුව නා රජුගේ අණ පරිදි නාග දුතයන් මෙම වැලේ කොළ දෙකට නමා අග මුල කටින් හපාගෙන මනු ලොවට වන්හ. එය කාව්‍යයෙන් මෙසේ පැවසේ.
නාග කඳෙහි වැල්පට අට ගත්තේ
නාග කඳසේ වැල් පුරුක් පැවැත්තේ
නාග පෙණෙසේ දලුපත ඇත සත්තේ
නාග වල්ලි නම් එදයි පැවැත්තේ
බුලත් වැලක් සම සම එක රස කොට
කොලත් මලුත් මිස ගෙඩි නැත එකලට
එදත් නාග බවනෙන් පැන නැඟුනට
බුලත් කියා නම විය මතු මෙලොවට
පළමුව මේ කප නසිනා කාලෙදි
බුලත් උපන්නේ කොහිද කියන්
දෙවනුව මහසම්මත රජවලියට
බුලත් ගෙනාවේ කව්ද කියන්
පත්තිනි පාළඟ සරණෙට මැඬි¹
බුලත් බෙදු අය කවුද කියන්
බුලත් උපතෙ වග කියලා මිස දැන්
ඉලත්තට්‌ටුවට අත නොකියන්
දොරකඩ වැලේ බුලත් බුලත් - මට විටකට නුදුන් බුලත්
නාග ලොවින් ගෙනා බුලත් - හෙල සිරිතේ මුලට බුලත්
අපේ ලොව්තුරු බුදු රජාණන් වහන්සේ කැලණියට වැඩිය අවස්‌ථාවේ උන්වහන්සේට බුලත් (දැහැත්) පිදීමේ අනුහස්‌ද කියවේ. ඈත අතීතයේ සිටම මුණි පුදට ගන්නා ලද බුලත් අදත් සිංහල බෞද්ධ ජන ජීවිතය හා බැඳී පවතී.
බුලත් පිදීමේ අනුහස් මෙසේ කියවේ. ඉමං තාම්බුල හෙසඡ්ජ දානං" බුද්ධ පූජාවේදී" නාග වල්ලී දලූ පේතං" කියති. මෙයින් පෙනෙන්නේ බුද්ධ පූජාවේදී ද බුලතට විශේෂ තැනක් හිමිව ඇති බවයි. ඒ වගේම මෙම සියලු කාර්යයන්ට මුල්වන බුලත කිසිම උසස් පහත් බේදයක් හෝ කුල බේදයක් හෝ නොසළකා එය දෑතින් පිළිගැන්වීම ඔවුන්ගේ තවත් එක් උසස් ප්‍රතිපත්තියකි.
විශේෂයෙන්ම ජ්‍යෙdතිෂ්‍යශාත්‍රඥයන් හමුවීමට යන විට බුලත් අතක් ගෙන යා යුතුමයි. මල්වර ඵලාඵල කීම, තත්කාල ශාස්‌ත්‍ර කීම ආදිය කියන්නේ දුතයා පැමිණි ස්‌වභාවය අනුවයි. බුලත් අතේ බුලත් ගණන් කිරීමෙන් ගෙනා බුලත් වර්ගයන් ගැන වෙන්කිරීමෙන් ආදී විද්‍යාත්මක පදනමක් මතය. මෙහිදී පඬුරට වඩා බුලත් පීදීම ශාස්‌ත්‍රයට කරන ගෞරවයකි. එවිට ශාස්‌ත්‍රය සත්‍යවේ. එය ජ්‍යෙdතිෂ්‍යයේ මෙසේ කියා ඇත.
ඵල පුෂ්ප යුතෝයෝහි - දෛවඥ පරිපෘඡ්
තස්‌වෛකථයෙන් ප්‍රශනං - සත්‍යං භවති නාන්‍යතායි.
මෙයින් කියවෙන්නේ ඵල මල්, බුලත්, ගුරු පඬුරු ආදිය දී අසනු ලබන ප්‍රශ්නය සත්‍ය වන බවත් එසේ නොවන කළ අසත්‍ය වන බවත්ය.
ප්‍රත්‍ය ශතකයෙහි හිස් අතින් නොගොස් මුණගැසිය යුතු හයදෙනකු ගැන මෙසේ සඳහන් වේ.
දේවෝ රාජා ශුර් භාර්යයා - වෛද්‍ය නක්‌ෂත්‍ර පාඨකඃ
නගඡ්වෙත් රික්‌ත හස්‌තෙන - කාර්යයං භවති නිශ්ඵලං
දෙවියන්, රජයේ නිලධාරින්, ගුරුවරුන්, වෛශ්‍යා, ස්‌ත්‍රීන්, වෛද්‍යවරුන් හා ජ්‍යෙdතිෂ්‍යශාස්‌ත්‍රඥයන් හමුවට හිස් අතින් නොයා යුතු බවත් හිස් අතින් ගිය විට තම බලාපොරොත්තු නිෂ්ඵල වන බවද කියවේ.
එබැවින් නැකත පාඨක සැවොම මේ උපදේශ පිළිගෙන සිංහල අවුරුදු චාරිත්‍ර විධිවලට අයත් බුලත් හුරුල්ලක් දී වැදූ මවටත් හැදූ පියාටත් දණගසා වැඳ වැඩිහිටියන්ගෙන් යහපත් ජීවිතයකට ඔවුනගේ ආදර්ශයන් ලබා ඉන් ලැබෙන සහනය ආත්ම තෘප්තිය හොඳ හිත මුළු අවුරුද්ද පුරා වර්ධනය කර ගන්න නම් බුලත් හුරුලක් දී
සු‚හෝතු භවතු සබ්බ මංගලං, තෙරුවන් සරණයි යන්නෙන් පවසන හෘදයාංගම ආශිර්වාදය ලබා තරහ මරහ ඉවත ලා සාමය සමගිය ඇති කර පූර්ණ සත්ගුණවත් අයකු වෙන්න.
ගුප්ත විද්‍යා කීර්ති, දේශබන්දු, සාමවිනිසුරු
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ