ගෞතම සර්වඥයන් වහන්සේ වැඩ සිටි සමයේ භාරත දේශයේ රජගහනුවරට නැගෙනහිරින් අම්බසණ්‌ඩා නමැති බමුණුගම පිහිටා තිබුණේය.එම බමුණු ගමට උතුරු දෙසින් වේදියක නම්වූ මහා පර්වතය පිහිටා තිබුණේය. ඉන්ද්‍රසාල ගුහාව තිබුණේ වේදියක නම්වූ මහා පර්වතයේය.
සක්‌කපඤ්ඤ සූත්‍රය
ලෝක නාථයන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා පිරිවරා ගත් දේව සමූහයාට "සක්‌කපඤ්ඤ සූත්‍රය" දේශනා කළේ ඉන්දසාල ගුහාවේදීය.
මේ සූත්‍ර දේශනාව නිසා ඉන්දසාල ගුහාව බෞද්ධ සාහිත්‍ය තුළ විරාජමානව පවතියි.
ආශ්චර්යයක්
මහා පර්වතයක පිහිsටි ඉන්දසාල ගුහාව අවට පරිසරයේ එදා මෙන්ම අදත් මහා කළුගල් කුට්‌ටි දක්‌නට ලැබේ.
ලෝකයේ ආශ්චර්යමත් සිද්ධියක් වශයෙන් සැලකිය හැකි ඉතාමත් දැකුම්කළු දර්ශනයක් දිනපතා උදේ සවස ඉන්දසාල ගුහාව අවට කළුගල් මත අදත් සිදු වෙයි.
කුඩා බකමූණෝ
දිනපතා උදේටත්, සවසටත් ඉන්දසාල ගුහාව අවට කළුගල් මතට කුඩා බකමූණු වර්ගයක් එන්නට පුරුදු වී සිටිති.
මේ බකමූණු වර්ගය ඉතා කුඩාය. ඔවුන්ගේ පියාපත් සුදු පාටය. කළුපාට තිත්වලින් යුක්‌තය. ලස්‌සනය. ඇස් වටකුරුය. ඇස් ඇතුළතින් කහ පාටය. ඔවුන්ට ඉතා තියුණු කටහඬක් ඇත. මේ බටු බකමූණන්ගේ ලොකු විශේෂත්වය වන්නේද ඔවුන්ගේ ඉතා තියුණු කටහඬය. මේ කුඩා බකමූණන් ආහාරයට ගන්නේ පලතුරු වර්ගයන්ය. එයද විශේෂත්වයකි.
මණි පද්මේ හූම්
දැනට ගවාර් නමින් හැඳින්වෙන වේදියක පර්වතය පාමුල පිහිටි ඉන්දසාල ගුහාව අවට පිහිටි කුඩා කළුගල් මතට දවසට දෙවරක් පියඹා එන මේ පුංචි බකමූණෝ එක රිද්මයකට බුද් බුද් බුද් සා සා හඬින් නාදකර ආපසු පියඹා යති. එවිට "මණි පද්මේ හූම්" හඬද නැගෙන බව කියති. "මණි පද්මේ හූම්" යනු බුදුගුණ මන්තරයකි.
බුදු ගුණ කවචයක්
එසේම "මණි පද්මේ හූම්" යනු බුදුගුණ කවචයකි. මේ බුදු ගුණ කවචය ටිබෙටයේ දී නිතර භාවිතා වේ. මේ කුඩා බකමූණන් ඉන්දසාල ගුහාව ඉදිරිපස කළුගල් මත හිඳගෙන ඉන්දසාල ගුහාව දෙස බලාගෙන උදේ සවස ගයන්නේ බුදුගුණ කියවෙන බලවත් කවචයකි. එය "මණි පද්ම් හූම්" ය.
අතීත කතාව
මේ කුඩා බකමූණන් ගෞතම සර්වඥයන් වහන්සේ වැඩ සිටි අවධියේ සිටි පරම්පරාවකින් පැවත එන බව ජනවහරින් කියෑවේ.
බුදුරජාණන් වහන්සේ ඉන්දසාල ගුහාවේ වැඩසිටි කාලය තුළ ඉන්දසාල ගුහාවේ සිට පහත නිම්නයේ පිහිටි බමුණු ගමට පිඬුසිඟා වඩින සිරිතක් විය.
බුදුරජාණන් වහන්සේ එසේ පිඬු සිඟා වඩින අවස්‌ථාවල එකල ඉන්දසාල ගුහාව අසල කුඩා ගල්කුලක ජීවත් වූ කුඩා බකමූණෙක් බුදුරජාණන් වහන්සේගේ පසුපස යැම ඒම සිරිතක් කරගෙන සිටියේය.
පසේ බුදුවරයෙක්
එසේ එක් දිනක් බුදුරජාණන් වහන්සේ ආපසු වඩිමින් සිටින විට මේ කුඩා බකමූණා පෙරමඟට ගොස් බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් හිස නමා ආචාර කළේය.
මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ බකමූණා දෙස බලා සිනහ පහළ කළ සේක
එවිට ආනන්ද ස්‌ථවිරයන් වහන්සේ ඊට හේතු විමසූ විට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ පින්වත් පක්‌ෂියා කප් ලක්‌ෂයක් තරම් කාලයක් දෙව් මිනිස් සැප විඳ "සෝමනස්‌ස" නමින් පසේ බුදුවරයකු වී නිවන් දකින බවය.
මේ පුවත මඡ්ජිම නිකායට්‌ඨ කථාවෙහි අර්ථකථනය වී තිබෙන බවද කියවේ.
ඉඳුසල් ගසක්
ඉඳුසල් ගසක් දොරකඩ තිබුණු නිසා ඉන්දසාල ගුහාවට එම නම ලැබුණු බව සඳහන් වේ.
බුදුන් වැඳීම
ගෞතම සර්වඥයන් වහන්සේ සමවත් සුවයෙන් කලක් වැඩ සිටි දඹදිව රජගහ නුවරට නුදුරුව පිහිටි වේදියක පර්වතයේ ඉන්දසාල ගුහාවේ දොරකඩට දැනුත් උදේ සවස එන, එදා බුදුන් දුටු පිංවත් බටු වර්ගයේ බකමූණාගේ පරම්පරාවේ කුඩා බකමූණෝ අදත් බු බු යන හඬින් උදේ සවස බුදුන් වඳිති.
එය ලෝකයේ ආශ්චර්යමත් සිද්ධියක් යෑයි එම සිද්ධිය දුටු අය කියති.
ජ්‍යෙතීර්වේදී වසන්ත කුරුප්පු