"මෙම ලිපියෙහි අන්තර්ගතය සබුද්ධික ප්රබුද්ධ මනුෂ්‍යයන් වෙත පමණක් අවබෝධ වනු ඇති අතර, ජීවිතයට කෙටි මංපෙත් සොයන, රැවටීමට හා මුලාවීමට හුරු වූ මිනිසුන්ට තවත් එක් කියවීමක් පමණක් වනු ඇත. එසේම, දුක විකුණා කමින් ශ්‍රාස්ත්‍රීය ගුණය කෙළෙසන ව්‍යාජ ජ්‍යෙතිෂවේදීන්ට පට්ටා ගැසීමට තවත් හොඳ මාතෘකාවක් වනු ඇත."
ලද දෙයින් සතුටට පත්නොවීම මනුෂ්‍ය ස්වභාවය වෙයි. සැපය අත්විඳිමින් සිටින මිනිසා, තමා එතෙක් නොලද සැපයක් පිළිබඳව සිතමින් ඒ පසුපස හඹා යමින් ශෝක වෙයි. තමා එතෙක් ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ගුණාත්මක අවබෝධයක් හෝ දැක්මක් මනුෂ්‍යයා තුළ නොපවතී. පෘථග්ජන මනුෂ්‍ය ස්වභාවය එයයි. පෘථග්ජන මනුෂ්‍ය සත්ව ස්වභාවය එය වන විට, උපත සහ විපත අතර ගොඩනැගෙන ජීවිත සීමාවේ සංසාරික ගමනේ කළ කී දේ හෙවත් ක්රියාවේ ප්‍රතිඵලය කාලානුරූපීව අඩු වැඩි ලෙස මේ මනුෂ්‍ය ජීවිතය තුළ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාත්මක වෙයි. මෙම සුබ අසුබ ක්‍රියාත්මක වන ආකාරය සබුද්ධික මනුෂ්‍ය ප්‍රජාව වෙත දැනගනු පිණිස ආදි පූර්ව සෘෂි මුනි ගුණ බල මහිමයෙන් දැනුම ලෙස ලොවට දායාද කළා වූ ජ්‍යෙතිෂ ආලෝක කර්ම වේද ශ්‍රාස්ත්‍රය, නූතන කළියුග අඳුරු අන්ධකාරය තුළත්, සකළ මනුෂ්‍ය සත්වයා වෙත ආලෝකයක් වෙමින් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
අඳුරු අන්ධකාරයෙන් පිරි මේ කළියුග මානයේ, හෙට දවස අද දකින්නට මිනි පහනක් වූ ජ්‍යෙතිෂ වේද ශ්‍රාස්ත්‍රය, මනුෂ්‍ය කර්මයාගේ ප්‍රතිඵලය අද දකින්නට, එතෙක් මෙතෙක් මේ පෘථිවි මනුෂ්‍ය ලෝකයේ බිහි වූ, බිහිකළ එකම ශ්‍රාස්ත්‍රීය දැනුම් පද්ධතිය වෙයි. මේ සංසාරික ජීවන ගමන් මගේ කළ කී දේ ප්‍රතිඵලය ලෙස ලබාදෙන හොඳ නරක, ක්‍රියාත්මක වීමට පෙර දකින්නට ජ්‍යෙතිෂ ශ්‍රාස්ත්‍රය භාවිතා කළ හැකි නමුත්, මනුෂ්‍ය කර්මය හොඳ නරක ලෙස ක්‍රියාත්මක වන විට, එය පාලනය කිරීමට, නැතහොත් මනුෂ්‍ය කර්මයේ ප්‍රතිඵල පාලනය කිරීමට ජ්‍යෙතිෂය භාවිතය තුළින් කිසිදු මගපෙන්වීමක් ලබාදී නොමැත. මනුෂ්‍යයා ජ්‍යෙතිෂය භාවිතය තුළ සෑම විටම බලාපොරොත්තු වන්නේ අසුබ කර්ම ක්‍රියාත්මක වන විට එය පාලනය කරගැනීමට, ජ්‍යෙතිෂ ශ්‍රාස්ත්‍රය තුළින්ම පහසු මංපෙත් ලබාගැනීම වෙයි. එය නොදැනුවත්භාවය සහ තවදුරටත් මුලාවටත් රැවටීමටත් හේතු වන අතර, මනුෂ්‍ය දුක මත ධනය උපයන, ශ්‍රාස්ත්‍රීය ගෞරවය නොතකන, මනුෂ්‍ය ගුණ නොදරන, ජ්‍යෙතිෂයේ අමිල වටිනාකම විකුණාගෙන කන අවස්ථාවාදී ජ්‍යෙතිෂවේදීන් යැයි කියාගත්, නූතන මාධ්‍ය භාවිතයේ පිහිටෙන් කළඑළි බැසගත් පිරිසකට, මෙවන් වූ අසරණ මනුෂ්‍ය කර්මයන් සැපය හා සම්පත ගෙන දෙයි.
ව්‍යාජ වංචාකාරීත්වය කෙටි කාලීන වන නමුත්, එවන් ව්‍යාජ චරිත වෙතින් මෙවන් අභිමානවත් උත්තම ශ්‍රාස්ත්‍රයකට සිදුවන හානිය අතිමහත් ය. කෙසේ කුමන ආකාරයෙන් හෝ වේවා, එතෙක් මෙතෙක් ලෝක ව්‍යාප්ත ශ්‍රාස්ත්‍රීය නියමයක් වූ ජ්‍යෙතිෂ වේද ශ්‍රාස්ත්‍රය, මේ කළියුග සීමාව තුළ තවදුරටත් මනුෂ්‍ය ප්‍රජාවගේ එකම අනාගත මගපෙන්වීම වෙමින්, එකම අනාගත කියවීම ලෙසින් නොසැලී පවතින බව "ආදි පූර්ව සෘෂි මුනි කියවීම" වෙයි.
ඉතින් ප්රබුද්ධ මිනිසුනි, සත්‍ය දකින්නට කාලය එළඹ පවතින මෙවන් සංකීර්ණ යුගයක, සත්‍ය දකින්නට නැතහොත් නිවැරදි අවබෝධයක් තුළින් ජ්‍යෙතිෂයේ නිවැරදි මගපෙන්වීම ලබා, මතු අනාගත සුබාසුබ දැනහදුනා එම තත්වයන් කළමනාකරණය කරගැනීමට ඔබට හැකිවිය යුතුය. අතීත ක්‍රියාවක ප්‍රතිඵලය ක්‍රියාත්මක වන විට එය පාලනය කිරීමට දෙවියන්ට හෝ මේ තුන් ලෝකයේ කිසිම බල සාධකයකට නොහැකි නම් ජ්‍යෙතිෂවේදියෙකු යැයි කියාගන්නා පෘථග්ජන පුද්ගලයෙකුට එම අසාමාන්‍ය හැකියාවක් තිබිය හැකිද? එලෙස කර්ම ක්‍රියාවලිය පාලනය කළ හැකි නම් සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා, ගෞතම බුදුන් නිවන් මග සොයා වෙහෙසුනේ කිමද? එතෙක් මෙතෙක් මේ ලෝක ධාතුව මත බිහි වූ උත්තම චරිතය වූ බුදුරදුන්ට පවා, තම අතීත කර්මයන් විපාක දෙන විට, එම විපාකයන් සමසිතින් විඳදරා ගැනීමට සිදුවූවා නම්, පෘථග්ජන මනුෂ්‍ය අපගේ අතීත කර්ම විපාක දෙන විට, අප එය මගහැර යන්නේ කෙසේද? ජ්‍යෙතිෂවේදියෙකු ලබාදෙන අපල සඳහා වූ ප්‍රතිකර්ම මගින් අපල වළක්වාගත් අයෙකු සිටීද?
වසර 14 ක ජ්‍යෙතිෂවේදියෙකු ලෙස ගෙවූ ජීවිතයේ මා ලද උත්තම සහ ප්රමුඛ අවබෝධය නම්, අතීත කර්ම විපාක දෙන විට, එම අසුබ විපාකයන්ගෙන් බේරීමට හෝ එම විපාකයන් ජයගැනීමට ජ්‍යෙතිෂ ශ්‍රාස්ත්‍රය තුළ කිසිදු විකල්පයක් නොමැති බවයි. විපාකය, ප්‍රතිඵලය කුමනාකාර හෝ වේවා එය ක්‍රියාත්මක වන විට එහි විපාකයට අප දැන හෝ නොදැන හසුවන අතර කාලය හරහා ජීවිතය ඉදිරියට ගෙන යාමට සිදුවෙයි.
ඉතින් ප්‍රේක්ෂක පාඨක සබුද්ධික ප්රබුද්ධ හිතවතුනි.. ජ්‍යෙතිෂය යනු අතීත, වර්තමාන සහ අනාගතය දැකීමට මනුෂ්‍යයා වෙත, ආදි පූර්ව සෘෂි මුනි ගුණ බල මහිමයෙන් සකසා ලබාදුන් උත්තම ඉගැන්වීමක් මිස අතීත කර්ම විපාක දෙන විට, එම කර්ම විපාක වෙනස් කරගැනීමට තිබෙන විකල්පයක් නොවන බව අවබෝධ කරගනු මැනවි. දුක විකුණාගෙන කන ව්‍යාජ මිනිසුන්ගෙන් බේරී, සත්‍ය වූ ජ්‍යෙතිෂ වේද ශ්‍රාස්ත්‍රය තුළින් තම පුද්ගල අනාගත සිදුවීම් පෙළ දැනහඳුනාගෙන, එම අනාගත සිදුවීම් සඳහා පූර්ව සූදානමින් ශක්තිමත් වන්නට ඔබ මෙයින් මතුවට හෝ බුද්ධිමත් විය යුතුවෙයි.
වේද ශ්‍රාස්ත්‍රීය ඉගැන්වීම වන්නේ, මනුෂ්‍යයාට ඇතිවන ඕනෑම ගැටලුවකට පිළිතුර ලෝක යුග සාධකය තුළින් ලබාගත යුතු බවයි. එනම් වර්තමාන කළියුගයේ විද්‍යාව, තාක්ෂණය, දැනුම, බුද්ධිය ලෝක ප්රමුඛතාවයන් වන බවත් එම සාධක වෙතින් පමණක් මනුෂ්‍යයා වෙත ඇතිවන ඕනෑම ගැටලුවකට පිළිතුරු පවතින බවත් වේ. උදාහරණයක් ලෙස මනුෂ්‍යයා වෙත ඇතිවන රෝග පීඩාවකදී, එයට පිළිතුර වෛද්‍ය විද්‍යාව තුළින් ලබාගත යුතුවේ. නැතහොත් එයට යන්ත්‍රයක් බෙල්ලේ ගැටගසා ගැනීමෙන් පවතින රෝගය සුවපත් නොවෙයි. මෙය සැබෑ සත්‍ය වන අතර තවදුරටත් වේද ශ්‍රාස්ත්‍රීය ඉගැන්වීම් තුළ "ඔබගේ අරමුණ වෙනුවෙන් පළමු පියවර ඔබ තැබිය යුතු බවත්, දෙවියන් එයට ආශිර්වාදය ලබාදෙනු ඇති" බවත් සඳහන් කරයි. මෙම කලියුගය තුළ ආශ්චර්යයන් සිදුවනොවන අතර සියල්ල භෞතිකත්වය තුළ විද්‍යා තාක්ෂණික සාධක මත පිහිටා සොයා සකසා ගොඩනගා ගත යුතුවේ. මෙම කලියුග සීමාවේ දෙවියන් ඇදහීම කළ යුතු අතර ධර්මය මනුෂ්‍ය බුද්ධි බල මහිමයෙන් අවබෝධ කරගත යුතුවේ. කළියුගයේ දානය හෙවත් දන් දීම ප්රමුඛ බවද එයින් උසස් විපාක හිමිවන බවද වේද ශ්‍රාස්ත්‍රීය දැනුම තුළ පෙන්වා දෙයි.
ජ්‍යෙතිෂවේදී ජනක් පී කුමාර විසින් ලියා සකසා පලකරන ලදී.
